රාවණ රජුගේ පරපුර - විස්මලන්තය

Thursday, January 24, 2019

රාවණ රජුගේ පරපුර

සිංහලේ (ශ්‍රී ලංකාවේ) රාජාවලියේ එන "මනු" රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ 03ක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. ඒවානම් තාරකා[වසර 10,000 කට පෙර], මහබලි[වසර 7,500කට පෙර], රාවණ [වසර 5,000- කට පෙර] යන ඒවාය. හෙළ යක්ඛ පරපුරේ රාවණ මහරජ පිලිබඳ තොරතුරු කොතෙකුත් කොත්මලේ, කූරගල, අනුරාධපුර, පොලොන්නරුව ආදී ප්‍රදේශයන්හි තවමත් පුරාවිද්‍යාවට හසු නොවූ හෝ නොකියවා අත්හරින ලද දහසකට අධික සෙල්ලිපි තුලින් සොයා ගත හැකිව තිබේ. එමෙන්ම මහාවංශයට වඩා පැරණි ලියවිල්ලක් වන "වර්ගපූර්නිකාව"නම් යක්ඛ ජනතාවට අයත් පුස්කොල පොතේ "ශ්‍රී රාවණ" අධිරාජයාගේ නාමය සඳහන් වන්නේ "කෞරාන මන්ඨක" ලෙසයි. එනම් "සියල්ල සම්පූර්ණ කල යකා" ලෙසයි.රාවණා යනු මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක්, අතිදක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් හා සුප්‍රසිද්ධ විණා වාදකයෙකු වශයෙන් හඳුනාගත හැකිය. දසිස් රාවණ (හිස් දහයක් ඇති) ලෙස ඇතැම් තැනෙක සඳහන් වන රාවණ මනා සේ ශිල්ප ප්‍රගුණ කල, අමරණීයත්වයට වරම් ලැබීම සඳහා හෙළයේ ගෝකන්න (ත්‍රිකුණාමලය) ප්‍රදේශයේ භාවනා යෝගීව මනස දියුණු කරගත් අධිරාජයෙකු වන අතර හෙළ රාජධානියෙන් එපිට රටවල් පවා පාලනය කල බව සඳහන් ය. මෙය තහවුරු කරමින් අදටත් බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වන අතර ලේඛනගත ඉපැරණිම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකෙන බැබිලෝනියානු ශිෂ්ඨාචාරය පවා ගුවන්යානා වලින් පැමිණි සිංහ මිනිසුන් ගේ උපදෙස් (රාවණ ගේ කොඩියේ සංකේතය සිංහයා ය) මත ගොඩ නගන ලද බව 1998 වසරේ සොයාගත් මැටි පුවරුවකින් කියැවි තිබේ. බැබිලෝනියානු එල්ලෙන උයන හෙළයේ සිහගිරිය (සීගිරිය) ඉදිකළ තාක්ෂනය හා උපදෙස් අනූව ඉදිකළ බවත් එහි සඳහන් වී ඇත.ඉන්දියාවේද අදටත් "දීපවාලි" නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි.

හොරොව්පොතාන වලස් කෙවුනුවැව සෙල්ලිපිය, යාල වනයේ බමරගස්තලාව සෙල්ලිපිය, කෑගල්ල අළුලෙන සෙල්ලිපිය, රාස්සකන්ද, අරනායක හා කිතුල්වැව සෙල්ලිපි, අම්පාර රජගල හා රාස්සගල සෙල්ලිපි, තොප්පිගල හා දඹාන අතර වල්මන්ඩිය ලිපිය ආදී විශාල සෙල්ලිපි ප්‍රමාණයක් පුරාවිද්‍යාව මඟින් කියවා ප්‍රසිද්ධ කර නැති අතර ඒවායේ සඳහන් රාවණ හා ඔහුගේ පරපුර පිලිබඳ තොරතුරු මෙතෙක් සැඟව පවතී. එමෙන්ම, ලංකාපුරයේ විශාල විශාල කොටසක් මුහුදේ ගිලීයාමට ලක්වී ඇති අතර රාවණ ගෙන් පෙර පැවති බොහෝ තොරතුරු ඒ සමග මුහුදට බිලිව ගොස් තිබේ. එමෙන්ම ලංකාවේ රාවණ රජු සම්බන්ධ ස්ථාන, නාම, ගුහා සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක වශයෙන් ගවේෂණය කළහැකි ස්ථාන බොහෝ ය.

රාවණ නමින් හැදින්වෙන්නේ ලංකාවේ රජකල මනුගෙන් පටන් දශානත් රාවණ දක්වා වූ රක්ෂස රජවරුන් භාවිතා කළ අභිදානයකි. සූර්ය වංශය යනු එහි අරුතයි. රා, රේ යනු සූර්යාට කියන අපර නාමයකි. වන යනු වංශය, බබලවන්නා යන අරුත් ගැන්වේ. වෛශවන යන්ද ඇතැම් රක්ෂස රජවරුන් භාවිතා කළ අභිනාමයකි. පසුකාලීනව පරාක්‍රමභාහු, විජයබාහු යන නම් රජවරු කිහිප දෙනෙක්ම යොදා ගත්තාක් මෙන් රාවණ යන්නද කිප දෙනෙක්මයොදා ගත්තේය. ඉන් එක් අයෙකි දශානත් මහා රාවණ. හෙතෙම රම රජු හා යුධවැදින. බුදුන් සමයේ ලංකාවේ පාලකයා වූයේ සුමන සමන් නැමැත්තෙකි. හෙතෙම රාවණ හා වෛශවන යන අභිදානයන් දෙකම භාවිතා කල බව ලංකාවතර හා ආටානාට සූත්‍ර ඇසුරෙන් නිගමනය කළ හැක.
රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස් රාවණ ලෙසද හදුන්වනු ලබන මෙතුමා වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය. කෙසේ වෙතත් රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද වෛද්‍ය ශිල්පයේ ද හා නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකට ය. එමෙන්ම අතිදක්ෂ වීණා වාදකයෙක් බවත් කියැවේ.
පුෂ්පක විමානය සහ දඬුමොණරය යානය ඔහුගේ නිපැයුම් ලෙසද සැලකේ. තවද ආර්යුවේද වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව 'අර්ක ශාස්ත්‍රය' හා තාරකා විද්‍යාව පිළිබඳව 'රාවණ සංහිත' කෘතීන් ද රාවණ රජු විසින් රචනා කරන ලදී. ලාංකීය ඉපැරණි සටන් කලාවක් වන අංගම් සටන් ශාස්ත්‍රය හි වැඩිදියුණු කිරීම් සදහාද ඔහු විශේෂ දායකත්වයක් ලබාදුන් බව ජනප්‍රවාද වල සදහන් වේ.
රාවණ රජු දුෂ්ටයෙකු ලෙස බොහෝ තැන් වලදී හදුන්වා දුන්න ද ලංකාව තුළ රාවණ චරිතය දේවත්වයෙන් සළකනු ලබයි. එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ.  රාවණ, ශිව දෙවියන්ගේ විශේෂ අනුගාමිකයෙක් ලෙසට හින්දු බැතිමතුන් අතර විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් 'ලංකාවතාර සූත්‍රය' නම් බෞද්ධ කතා වස්තුවට අනුව රාවණ රජු බුදුදුහම කෙරෙහි ද නැඹුරුවක් පැවැති බවත් සදහන් වේ.

ඓතිහාසික බව සනාථ වන රාවණා ඥාති පිරිස් ගැන සීමිත තොරතුරු පහත දැක්වේ.

 


පියාගේ පියා-පුලස්ති ඉසිවරයා



උත්තම දරුවන් ලැබීමේ න්‍යාය තුළ සෘෂිවරුන්ගෙන් හා මුනිවරුන්ගෙන් කාන්තාවන් දරුවන් ලබාගැනීමේ විධි ක‍්‍රමය තුළට රාවණගේ මව් පාර්ශ්වය හා පිය පාර්ශ්වය යන දෙපාර්ශ්වයම ඇතුළත්ය. පිය පාර්ශ්වයේ බලන විට විශ‍්‍රවස් ඉසිවරයාගේ පියා බලගතුම මුනිවරයෙකි. පියාගේ (විශ‍්‍රවස්) පියාද පුලස්ති නමැති බලවත් සෘෂිවරයාය. මව් පාර්ශ්වය ගත්විට මවගේ පියා නොහොත් සීයා වන සුමාලී රකුස් රජු කාශ්‍යප මුනිට දාව මන්දාත කුසින් බිහි විය. සමකාලීන ලෝකයේ බලවත්ම සෘෂි පාලකයා වීමට මහා රාවණට මෙසේ සූදානම් විය. සුමාලී රකුස් රජු තම දුව වන කෛකසී කුමරිය දරුවන් ලැබීම සඳහා විශ‍්‍රවස් මුනි වෙතට යැව්වේ අසුර අධිරාජ්‍යයට අනාගතයේදී උපද්‍රව ඇතිවිය හැකි නිසා බලවත් පාලකයකු ඇතිකර ගැනීමටයි.  

පුලස්ති සෘෂි විසුවේ පුලස්තිපුර නොහොත් පොලොන්නරුවේය. ඔහු භාවනා කිරීම සඳහා අනුරාධපුරයේ වෙස්සගිරියේ පිහිටි තණචොඩක (සංස්කෘත තෘණබින්දු) සෘෂිවරයාගේ අසපුවට ආවේය. එහිදී තණ චොඩකගේ තරුණ දූවරුන්ගේ කෑගෑසීම්, සිනා ආදි ශබ්ද නිසා බාධා ඇතිවිය. ඉන් කෝපයට පත් පුලස්ති ප‍්‍රාර්ථනා කළේ තමා සමාධියෙන් නැගී සිට ඇස් ඇරියවිට පළමුවෙන් දකින තරුණිය ගැබ් ගනීවා යනුවෙනි. ඔහු පළමුවෙන් දුටුවේ තණචොඩක සෘෂිගේ දියණි හවිර්ගුය. ඇය ගැබ් ගත්තාය. ඇයට ලැබුණු දරුවා පසු කලෙක බලගතු මුනිවරයකු විය. ඒ විශ‍්‍රවස් මුණිය. අනුරාධපුර විශ‍්‍රවස්ගිරි නොහොත් වෙස්සගිරිය නම් වී ඇත්තේ විශ‍්‍රවස්ගේ නමිනි.
තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ‍්‍රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග‍්‍රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත.  

අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්‍යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත‍්‍රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ‍්‍රැත සංහිතාව පවසයි.  

මවගේ පියා -සුමාලි රජ


මීට පෙරද විස්තර දක්වා ඇති සුමාලි රකුස් රජු රාවණාගේ මවගේ සීයාය. ඇයද දේවයානිට ලැබුණේ කාශ්‍යප මුනි හා එක්වීමෙනි. ඔහුද බෝම්බ දමමින් දිග් විජය කල අධිරාජ්‍ය ගොඩනගන්නකු විය. සුමාලිට සුර ගුප්ත යයි නමක්ද විය. කතිර කුමරුගේ විශාල දේව සේනාවට ගොඩබිම යුද්ධයේදී සුමාලි රකුස් රජු පරාජය විය.

සුමාලිගේ සහොදරයා-මාල්‍යවන්ත
           
 සිංහමුඛ නමින්ද හඳුන්වන දේවයානි පුතකු වන මොහුට පාලනයට පුරයක් නොවීය.රාවණ රජගේ මවගේ (කෛසී) පියාවන සුමාලිගේ සහොදරයෙකි. විශ්වකර්ම නොහොත් "මය" විසින් ලංකාපුරය හා පුෂ්පක යානය සාදා දුන්නේ මාල්‍යවන්ත කුමරු සඳහාය.කතිර කුමරු සටනට ආ විට මාල්‍යවන්ත විසින් ලංකාපුරය හා පුෂ්පක යානය හැරදමා පලා ගියේය.ඉන්පසු ඔහු නැවත ආපසු නො ආවේය.

පියා-වෛශ්‍රව (විශ්‍රවස්) ඉසිවරයා 

  තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ‍්‍රවස් මුනිද්‍ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග‍්‍රහය- I​ වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88   

ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක...
පුරාවිද්‍යා කියවීම: පරුමක විසදව පුත පරුමක...

1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ‍්‍රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්‍යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.

1. හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ.
2. එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’
3. මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ‍්‍රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’
4. හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ‍්‍රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’

මෙම ලිපි හතර සොයාගනු ලැබ ඇත්තේ නිදහස් පුරාවිද්‍යා, ගවේෂක පතිරආරච්චි නමැති අය විසිනි. පුරාවිද්‍යාව මේ සියල්ලට අන්ධව විශ‍්‍රවස් මිථ්‍යාවක් බව කියති. රාජ්‍යත්වය හිමි වුවද ඔහුගේ පාලන මධ්‍යස්ථානයක් ගැන අසන්නට නැත.ඉහත සදහන් පුලස්තිට දාව හවිර්ගු කුසින් බිහි විය.විසව (විශ්‍රවස්)ගැන සදහන් සෙල්ලිපියක් වෙස්සගිරියේ ඇත.පාතාල රාජ්‍යය හා නිරය (පොළොව යට)වෙසමුණිට අයත් බවත් වෙසමුණි රජුගෙන් වරම් ලැබ අවුත් ගංගා විල් පොකුණු පාලනය කළ දිය රකුසන් හා යකුන් ගැන බෞද්ධ සාහිත්‍යෙයේ අසන්නට ඇත.ජල පාලනයක් වෙසමුණි විසින් කරන්නට ඇති බවට මේ අනුව අනුමාන කළ හැක.රාවණා රජු වෙසමුණිට දාව උපන් අයෙකි.සතරවරම් දෙවියන් අතුරින්  ඔහුද අයෙකු බවට (වෛශ්‍රවණ)බෞද්ධ සාහිත්‍යයේ කියවේ.

මව ‍-කෛකසි කුමරිය

කෛකසි (දේවනාගරි දී: कैकसी) කුමරිය යනු රාවණා රජුගේ මෑණියෝය. මැය නිකාෂා (දේවනාගරි දී : निकषा) හා කේෂිණී (දේවනාගරි දී : केशिनी) යන නම් වලින් ද හදුන්වයි.
ඇය දෙයිත්‍ය යක්ෂ ගෝත්‍රික රජු සුමාලි සහ ඔහුගේ බිරිඳ කේතුමතී ගේ දියණියයි. උත්තම දරුවන් ලැබීම සදහා රජවරුන් විසින් තමන්ගේ දියණිවරුන් හා බිසෝවරුන් ඍෂිවරුන් හා මුණිවරුන් වෙත යැවීමේ මෙකල සම්මතයට අනූව සුමාලී රජුද තම දියණි කෛකසී කුමරිය යවන ලද්දේ අති බලවත් විශ්‍රවස් මුණි වෙතටය. මෙහිදී වෛශ්‍රව ඍශි ගේ බිරිඳ ඉල්ලාවිඩා කුමරිය හා ඔහුගේ පුත් කුවේර අත්හැරීමට සිදුවේ. කෛකසි හා වෛශ්‍රව දාව රාවණ, විභීෂණ, කුම්භකර්ණ යන පුත්‍රයන් හා සුපර්ණකා නම් දියණිය උත්පත්තිය ලබයි.
පසු කාලයේදී රාවණා විසින් එවක ලංකාපුර රජු වූ කුවේර බලයෙන් පහ කර ලංකාපුර රජු ලෙස කිරුළු පැළදීම නිසා කළකිරීමට පත්වන වෛශ්‍රව ඍශිවරයා, කෛකසි හා ඇගේ දරුවන් අතහැර, තම පෙර බිරිඳ වූ ඉල්ලාවිඩා සමඟ නැවත එක්වන ලදී.

බිරිඳ-මන්දෝදරී කුමරිය 

මන්දෝදරී (සංස්කෘත : मंदोदरी , අර්ථය "මෘදු උදරයක් ඇති") කුමරිය යනු හින්දු මහා කාව්‍යයක් වන රාමායනයට අනුව, ලංකාපුර රජු වූ රාවණා ගේ අග බිසවයි. රාමායනයේ සදහන් ආකාරයට ඇය සුන්දර, පක්ෂග්‍රාහී මෙන්ම ධර්මිෂ්ඨ කාන්තාවක් ලෙස නිරූපණය කරයි. ඇය පංචකන්‍යාවන් ගෙන් කෙනෙකු ලෙස ද පුරාවෘත වල සදහන් වන අතර, ඇයගේ නාමයේ ආනුභාවයෙන් පාපය දුරු වන බවද විශ්වාස කෙරේ.
මන්දෝදරී කුමරිය, යක්ෂ ගෝත්‍රික රජෙකු වූ මායාසුර ගේ හා ආකාශ අප්සරාවක් වූ හේමා ගේ දියණිය විය. මන්දෝදරී දාව මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, ආථිකාය සහ අක්ෂයකුමාර නම් පුත්‍රයන් තිදෙනෙක් වූහ. සමහර රාමායණ අනුවර්තන වලට අනුව, මන්දෝදරී යනු රාවණා විසින් පැහැර ගන්නා ලද රාම ගේ බිරිය සීතා ගේ මව වේ. ඇගේ සැමියා වූ රාවණා ගේ ක්‍රියාකලාපය සම්බන්ධව නොතකන ඇය ඔහුට ප්‍රේමය දක්වන අතරම ඔහුට නිවැරදි මාර්ගය අනුගමනය කිරීමට උපදෙස් දෙයි. මන්දෝදරී සීතා ආපසු රාම වෙත භාර දෙන මෙන් රාවණා ගෙන් ඉල්ලා සිටි නමුත් රාවණා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. රාවණා රජු කෙරෙහි ඈ තුළ වූ ප්‍රේමය හා පක්ෂපාතිත්වය රාමායණය තුළ ප්‍රශංසා කර ඇත. රාවණා රජු වෙත ඉමහත් සෙනෙහසින් යුතු ඇය රජුගේ සියළු රහස් දැන සිටියාය.රාවණායන් මැරිය හැකි ආයුධ තුන හා ඒවා තබා තිබුණේ වේරම්බ වාතයේ බව දැන සිටියේ මන්දෝදරී හා විභීෂණ පමණි.රාවණා රජුගේ මරණින් අසරණ වූ නිසා අනතුරුව රාජ්‍යත්වයට පත් විභීෂණ විසින් ඇය පාවා ගැනීම සිදුවිය.

පුතා-මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත් කුමරා

මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, රාවණා රජුගේ සහ මන්දෝදරී බිසවගේ වැඩිමහල් පුත්කුමරා විය. කුමරු උපන් මොහොතේ හැඩූ ශබ්දය අකුණු හඬ පරදා ඇසුණු බැවින් කුමරුට මේඝනාද යැයි රාවණා රජු විසින් නම් තැබූ බව කියවේ. පසුකලෙක මේඝනාද කුමරු විසින් දෙව්ලොව සිටි දක්ෂතම සෙන්පතියකු වූ ඉන්ද්‍ර නමැති දෙවියා අඩපණ කොට ලංකාපුරයට සිරකරුවෙකු ලෙස රැගෙන ආ මොහොතේ විශ්මයටපත් මහා බ්‍රහ්මයාගෙන් මේඝනාද කුමරුට 'ඉන්ද්‍ර ජයගත් කුමරු' අර්ථය ඇති 'ඉන්ද්‍රජිත්' යන නාමය ලද බව පුරාවෘත තුල දැක්වේ. ඉන්ද්‍ර යන්න සූර්යයාට හෙළ බසින් පවසන තවත් නමකි. රාවණා පරපුර සූර්යය වංශිකයන් වීම හා ඔවුන් සූර්යයා නමස්කාර කළ පිරිසක් ලෙස සැලකේ. ඉන්ද්‍රජිත් කුමරුගේ නමින් ලෙන් ලිපියක් අදටත් සුරැකිව පවතී. මේඝනාද කුමරු ඉපදෙන මොහොතේ රාවණා රජ, ලෝකයේ තම පුතාව පැරදවිය හැකි එක් අයකුවත් නොමැති අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවට පත්වේ කියා පැතූ බව සදහන්වේ. මේඝනාද කුමරු විසින් ශේෂනාග රජුගේ සත්ගුණවත් දියනිය වන සුලෝචනා විවාහ කර ගන්නා ලදී.   

ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාද,හින්දු ප්‍රවාද වලට අනුව,දිව්‍යලෝකය දිනූකෙනා මෙන්ම ලංකාවේ රජකුමාරයෙක් විය. රාවණා රජුගේ පුතකු ලෙස ඉන්දියානු මහාකාව්‍ය රාමායනයේ ඔහුව සදහන් වේ. රාවණා රජුට තම පුතු ශිව දෙවියන්ගේ මහා බැතිමතෙකු කිරීමට අවශ්‍ය විය. රාවණා රජුගේ අපේක්ෂාව අනුව ඉන්ද්‍රජිත්, ශිව දෙවියන්ට සමාන මහා රණකාමියෙක් වෙන්න සහ ඔහුගේ මහා බැතිමතෙකු වන්නට ආශිර්වාද ලැබුවේය. රාම සහ රාවණා අතර මහා යුද්ධයේදී ඉන්ද්‍රජිත් මහා මෙහෙයක් කලේය. ඔහු ප්‍රබල අතිමහරති පෙළ රණකාමියෙකු විය. එදාමෙදාතුර සිටි බලවත්ම රණකාමියා ලෙස සහ බ්‍රහ්මන්ද අස්ත්‍ර, වයිශ්නව අස්ත්‍ර සහ පශුපට අස්ත්‍ර යන ත්‍රිමුති පරම ආයුධ තුන පාලනය කල හැකි එකම රණශූරයා ලෙසද සැලකේ. ඔහුගේ ගුරු ශුක්‍ර, මහා බ්‍රහ්ම, විශ්නු සහ ශිව යන්නන්ගෙන් සියලු වර්ගයේ දිව්‍ය ආයුධ ඔහු අත්කරගන්නා ලදී.රාම-රාවණ යුද්ධයේදී හඳට ගමන් කර වළාකුළුවලට මුවාවෙමින්  හඳෙහි සිට අලෝක ශර (ලේසර් අවි) මගින් රාම හමුදාවට පහරදුන් බව රාමායණයේ කියැවේ.ජනප්‍රවාදයේද "දේවතා එළි" නොහොත් වේගයෙන් දිවෙන ආලෝක ධාරා ගැමියන් විසින් හදුන්වන්නේ "රාමසැර" නොහොත් රාමාට එල්ල කළ ශර ප්‍රහාර ලෙසටය.මෙම ව්‍යවහාරය රාවණ යුගයේ සිට ආවකි

දුව - ශෝහිලි කුමරිය
  
සොයුරන් -කුම්භකර්ණ
කුම්බකර්ණ යනු රාවණ රජු ගේ සොහොයුරෙකි. යුද්ධයට දක්ෂ මොහු ව මායා බලය මගින් නිදි ගන්වා රාම කුමරු සටනට පැමිණ ඇත . 

සොයුරන් -විභීෂණ රජ

විශ්‍රවස් මුණිට දාව උපන් රාවණ රජුගේ සහොදරයෙකු වන අතර රාම - රාවණා යුද්ධයේදී තම සොහොයුරාට විරුද්ධව රාම කුමරුන්ට ආධාර කළ අයෙකු ලෙස වභීෂණ හැඳින්වේ. මරණයෙන් පසු දේවත්වයට පත් කරන ලද විභීෂණගේ මධ්‍යස්ථානය කැළණිය වේ.මේ වත්මන් කැළණිය නොව නැගෙනහිර වෙරළෙහි හැඩ ඔය මුහුදට වැටෙන ස්ථානය අසල තිබී මුහුදට ගිලීගිය කැළණියයි.කොළඹට නුදුරු වත්මන් කැළණි විහාරය ගොඩනංවන ලද්දේ පොළොන්නරු යුගයේ විසූ "කලාණවතී බිසව" විසිනි.ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව රාවණ රජුගේ සම්බන්ධතා නොවීය."රා"සහ "රෝ" යනු ඉරට ඇති නම්ය "රෝ +හණ"(රුහුණු) දේශය නැගෙනහිර හිරු පායන දිශාවෙහි ඇත. සූර්ය ශක්තියෙන් වැඩගත් රාවණ කිසි විටකත් බටහිර වෙරළට සම්බන්ධ වීමට නුපුළුවන. විභීෂණද එසේමය. රා+වණ යන්නෙහි අර්ථයද හිරු කණ්ඩායම (සුර්ය වංශය) නිසා රාවණ දේශ්‍ය නොහොත් සූර්ය වංශයේ දේශය රොහණ දේශය වූවාද විය හැක.රාවණ රජු මිය යාමෙන් පසු විභීෂණට ලංකා රාජ්‍යය ලබාදීම රාම කුමරුන් විසින් කළ බව රාමායණය පවසයි.නමුත් කාෂ්මීර රාජ වංශය දක්වන "රාජතරංගනිය" පවසන්නේ එරට රජ පෙළපත ඇරඹෙන්නේ විභීෂණගෙන් බවය.
  

සොයුරිය-සුපර්ණකා

 රාවණා රජුගේ සහොදරිය වේ.සුපර්ණකා යන්නෙහි අර්ථය දිගු නිය ඇත්තිය යන්නයි.ඇය විවාහ වී සිටියේ විද්‍යුත්ජීව සමගයි.හෙළදිවින් ගිය වීරඡන්ත කුමරු (ප්‍රාලද රජුගේ පුතා) විසින් ඇති කළ දකුණු ඇමෙරිකාවේ පාතාල ශිෂ්ටාචාරය  මෙවක ස්වාධීනව සිටි නිසා එය යුධ කර යටත්  කර ගැනීමට  රාවණා විසින් යැව්වේ විද්‍යුත්ජීවය.නමුත් ඔහු පරාජය මරණයට පත්කරන ලදී.වැන්ඳඹු වූ සුපර්ණකා දණ්ඩකාරණ්‍යයේ පාලනය  සඳහා යවන ලදී.ඇයගේ රාම කුමරු සමග ගැටුම ඇති වුණේ එහිදීය.රාමායණය පවසන පරිදි තවුස් ඇඳුම්වලින් සැරසී දුනු ඊතලද රැගෙන සිටි රාම ඇතුළු තිදෙනාට ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ තවුස් ඇඳුම් ඇඳ සිටියද දුනු  ඊතල දරා සිටීමට දණ්ඩකාරණ්‍යයේ අවසර නැති බැවින් දුනු ඊතල බැහැර කිරීමට හෝ නොහැකි නම් දණ්ඩක වනයෙන් ඉවත් වී  යාමටය.ඊට උරණ වූ ලක්ෂ්මණ ඇයගේ නාසය කපා ඇත.මෙම සිද්ධිය සීතාව පැහැරගෙන යාමටත් අනතුරුව මහා රාවණ - රාම යුධයටත් හේතු වූ බව රාමායණයේ එයි.

ඥාති සහොදරයා-කුඹුක්කන්  

රාවණ රජුගේ ඥාති සොහොයුරකු වන අතර වාරිමාර්ග සහ කෘෂි විශේෂඥයෙකි.කුඹුක්කන් ඔය ආශ්‍රිත ප්‍රදේශය ඔහුගේ බල ප්‍රදේශය වූ අතර කුඹුක්කන් අමුණ මගින් ගංගා ජලය ලබාගෙන "මහවෙල්යාය" අස්වද්දන ලද බව පාරම්පරික ඉතිහාසයේ එයි.මෙම අමුණ වෙඩි දමා විනාශ කරන ලද්දේ 1818 දීය.ඒ 1818 වෙල්ලස්ස නිදහස් අරගල සටනට බත සැපයීම මහවෙල්යායෙන් සිදුකරන ලද නිසාය.එම කුඹුක්කන් ඔය ආශ්‍රිත  එම පෙදෙස භූමියේ ජනාවාස ඉවත් කර වනාන්තරයට යට කරන ලද්දේ යාල අභයභුමිය  ඇති කිරීම මගිනි.කුඹුක්කන් භාවනා කිරීමට පුරුදු වූ  අයකු වීම වාල්මිකී විසින් උපහාසයට ලක් කළේ බඩ පැලෙන තුරු ආහාර අනුබව කර හය මාසයක් නිදාගන්නා බව කීමෙනි.වැව් ශිෂ්ඨාචාරය තුළ පුරාණයේදී අප අවුරුද්දේ  වැඩ කළ මාස ගණන එකතු කළ විට හයක් වේ.ඉතිරි හය මාසය විවේක කාළය විය.පන්සල අවශ්‍ය වූයේ එම විවේකය දහම ඇසුරින් ගත කිරීමටය.දිය පාරවල් අසළ කුඹුක් පැළ වගා කිරීම ඔහු විසින් අරඹන ලද බවත් වැල්ලවාය මොනරාගල අතර පිහිටි "කුඹුක්කන" ඔහුගේ මධ්‍යස්ථානය බවත් පාරම්පරික ජන ඉතිහාසයේ කියැවේ.

මාමණ්ඩිය-මය(විශ්වකර්ම)  

බෞද්ධ හා හින්දු සාහිත්‍යයන්හි සදහන්වන අසමසම සිවිල් ඉංජිනේරුවා මය නොහොත් විශ්වකර්ම වේ.ගොඩනැගිලි හා නිර්මාණ මවන්නකු ලෙස ඔහු හැදින්වේ.මරණයෙන් පසු දේවත්වයට නංවන ලද ඔහු විශ්වකර්ම  දිව්‍ය පුත්‍රයාය.මය+තොට නොහොත් මාතොට (මන්නාරම) ඔහුගේ මධ්‍යස්ථානය විය.මාතොට වරායේ වූ වානේ කුලුන සහිත බලකොටුව මයගේ නිර්මාණයකි."මය මතය" නමැති කෘතිය ඔහු විසින් සම්පාදනය කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම ගැන කෘතියයි.මන්දෝදරී ඔහුගේ දියණිය වන අතර රාවණා රජු ඇය විවාහ කරගති.මෙනිසා "මය" වනාහි රාවණ රජුගේ මාමණ්ඩිය වෙයි.ලංකාපුරය හා දඬුමොනර යන්ත්‍රය නිර්මාණය කරදුන්නේ විශ්වකර්ම විසිනි.ඒ මාල්‍යවන්ත (සිංහමුඛ) කුමරු සඳහාය.  

ඥාති සහොදරයා-කු‍වේර  

විශ්‍රවස් මුණිගේ බිසවගේ පුතකු වන කුබිර නොහොත් කුවේර රාවණාගේ ඥාති සහොදරයෙකි.කතිර කුමරු සටනට එන විට මාල්‍යවන්ත කුමරු ලංකාපුරය හැරදමා පැනගිය විට එය අරාජක විය. එවිට විශ්‍රවස් මුණි විසින් කුබිර එහි රාජ්‍යත්වයට පත් කළේය යනු රාමායණ ප්‍රවෘත්තියයි.එයම ජනප්‍රවාදයෙන් සනාථ වේ.නමුත් මව් පාර්ශවයෙන් ඊට ඉහත පරම්පරාවේ සුමාලි රජුගේ සොහොයුරු මාල්‍යවන්තගේ රාජ්‍යය වූ ලංකාපුරයේ හිමිකම කෛකසීගේ පුත් රාවණාටය.එබැවින් රාවණා විසින් උපාය මාර්ගයෙන් කුවේර ලංකාපුර හිමිකමින් ඉවත් කර ලංකාවෙන් පිටත කෛලාශයට යවන ලදී.කුවේර යනු ධන සම්පත් අසීමිත ලෙස හිමි අයෙකි.වර්ථමානයේ "බහිරව" ලෙස අප විසින් පූජා  පවත්වන්නේ ඔහුටය.පොළොව යට ඔහුට අයත් නිසා නිධන් ගැනීමට හා ගෙවල් තැනීමට බහිරව පූජා පැවැත්වේ.ලංකාවේ බහිරව රූපය දකුණු ඇමේරිකාවේ පාතාල (ඉන්කා) ශිෂ්ඨාචාරයේද ඇති නිසා කෛලාශයට නොව කුවේර පාතාලයට ගිය බව බටහිර මානව විද්‍යඥයන්  ඇතැම් අය පවසති.  

ඥාති සහොදරයා-දුම්රක් (ධූමරාක්ෂ)

 දිඹුලාගල තම මධ්‍යස්ථානය කරගෙන විසූ ධූමරාක්ෂ සෙනෙවියා රාවණා රජුගේ මවගේ ඥාති සොහොයුරෙකි.කුවේර වෙතින් ලංකාපුරය ආපසු ලබාගැනීම සදහා සටන් කිරීමකින් තොරව උපායමාර්ග යෙදවූයේ ඔහු බව පානම් පත්තුවේ ජනප්‍රවාද පවසයි.ලංකාපුරයෙන් ඉවත් කරන ලද කුවේර අනිතිමට සීගිරියට සීමා කරන ලදී.විශ්‍රවස් මුණිද සිවගිරියේ විය.අන්තිමට අන්තිමට රාවණ විසින් කුවේර හා විශ්‍රවස් මුණි යන දෙදෙනාම ලංකාවෙන් පිටමං කර වයඹ දිග ඉන්දියාවේ රකුස් ජනාවාස වලට යවන ලදී.ශිව දෙවියන් ඉන්දියාවට පිටින් ආ දෙවියකු ලෙස පශ්චාත් වෛදික ග්‍රන්ථවල දැක්වෙන අතර එසේ ආවේ කුමන දේශයක සිටදැයි නොකිය වේ.අරිසෙන් අහුබුදු සූරීන් පවසන්නේ සිවගිරියේ (සීගිරියේ) වූ සිව රජු ඉන්දු දේශයේදී (පන්ජාවය) ශිව දෙවියන් බවට පත්වු බවකී.ඔහුගේ මධ්‍යස්ථානය "මුල්තැන" (අද මුල්තාන්) නම් විය.

සුමාලි රකුස් රජුගේ මුනුබුරාදනුබ් කුමරු

සුමාලි රකුස් රජුගේ මුනුබුරකු මෙන්ම කෛකසී බිසවගේ  (රාවණ මව) ඥාති පුත්‍රයකු වූ දනුබ් කුමරු කුඹුක්කන් කුමරු සමග කුඹුකුකන් අමුණ සෑදීමට හා ඊට අදාළ කුඹුරු අස්වැද්දීමට සහභාගී වී වාරිමාර්ග හා කෘෂි දැනුම හා අත්දැකීම් ලැබීය.අවුරුදු දහසකට පමණ ඉහතදී දේව අධ්‍යාපනයෙන් උද්දාම වූ ප්‍රලද රජුගේ පුත් "වීරන්න" කුමරු දකුණු ඇමෙරිකාවට ගොස් පාතාල රාජ්‍යය ඇති කළා සේ එයම අනුගමනය කරමින් දනුබ් කුමරු දකුණු යුරෝපයට ගොස් "රමණිය" නම් රට ජනාවාස කළේය.ඒ එරට ඇති මහා ගංගාවේ ජලය අමුණු බැද වගාව සදහා ලබාගනිමිනි.එම ගඟ "දනුබ් ගඟ" ලෙස  හැඳිනවුන අතර අදත් යුරෝපීය උච්චාරණයට අනූව "ඩැනියුබ්" නම් වේ."රමණීය" රට යුරෝපීය උච්චාරණයට අනූව "රොමානියා" ලෙස අදත් හැඳින්වේ.

ඥාති සොහොයුරන්-බර හා දූෂක  

රාවණ රජුගේ ඥාති සොහොයුරන් දෙදෙනෙකි.සුපර්ණකා යාමට පෙර දණ්ඩකාරණ්‍යයේ පාලන කටයුතු කරන ලද්දේ මේ දෙදනා විසිනි.ශාඛ පමණක් බුදින ලද හෙළ රකුස් ජනාතාවට දණ්ඩකාරණ්‍යයේ වූ ඍෂින් විසින් බිලිපූජා පැවැත්වීම නවත්වාලීමට නොහැකි විය.එබැවින් පූජාවන් කඩාකප්පල් කිරීමට කටයුතු කළහ.මෙහි ප්‍රධාන ස්ථානය ගන්නේ "තාඩකා" නමැති රකුස් නායිකාවය.ඇතුන් දහසකගේ බල ඇයට තිබූ බව රාමායණය පවසයි.රාම කුමරුන් මුල් වරටම  දණ්ඩක වනයට රැගෙන ගියේ  විශ්වමිත්‍ර මුණි විසිනි.ඒ "තාඩකා" මැරවීමටය.එය සාර්ථකව ඉටුකළ නිසා ඊට තිළිණය ලෙස ජනක රජුවෙත ගෙන ගොස් දුන්න නෑවීම සිදුකරවා "සීතාව" බිරිඳ ලෙස ලබාදුන.ඛර හා දූෂක විසූ දණ්ඩක වනයේ අගනුවර වන "ජනස්ථාන"(දනව්ව) 2002 දී මුහුදු පත්ලේ තිබී ඉන්දීය සාගර දූෂණ කොමිසම විසින් සොයාගැනිණ.මෙම නගරය කාබන් පරීක්ෂණ අනූව අවුරුදු 10,000ක් පැරණි වීම රාවණා රජුගේ කාළය නිර්ණය කිරීමට ඇත් ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වෙයි. 


රාමායණයේ  දැක්වෙන ප්‍රබන්ධාත්මක වර කාව්‍ය සිවරූපයෙන් ඔබ්බට ගොස් රාවණ රජුගේ ඓතිහාසික බව ඒත්තු ගැන්වීමට මෙසේ ඥාතීන් ගැන අවශ්‍යය. ඉහත දැක්වෙන පුද්ගලයන් අතුරින් මන්දාත නොහොත් දේවයානි සහ දනුබ් යන පුද්ගලයන් දෙදනා හැර ඉතිරි චරිත සියල්ල රාමායණයේ එයි.දේවයානි ගැන අග්නි පුරාණයෙහිද දනුබ් ගැන ස්කන්ධ පුරාණයෙහිද සදහන්ය.
             ඉහත සදහන් චරිත බොහෝමයක් ගැන රාමායණයෙන් හා පුරාණවලින් බැහැර ජන ප්‍රවාදයේ අඩංගු වී ඇත.ඒ සියල්ල ලංකාවේ ජනප්‍රවාද මිස භාරතීය ජනප්‍රවාද නොවේ.රාමායණය හුදු ප්‍රබන්ධිත වීර කාව්‍යයක් බව ඉන්දියානු ඉතිහාසඥයන් නිගමනය කරන්නේ එබැවිනි.
                                                                              නමුත් ලංකාවේදී මේ චරිත ගැන ඇති අමතර සාක්ෂි පහත සදහන් පරිදි වේ.
         
පුලස්ති:- පුලස්ති රූපය සහ පොළොන්නරුව "පුලස්ති පුර" වීම.

විශ්‍රවස්:- ලංකා ශිලා ලිපි සංග්‍රහයේ දරන වෙස්සගිරි ලිපිය.

දේවයානි:- පත්තිනි හා කාලි අම්මා ලෙස අදත් පිදුම් ලැබී.

කෛකසී:- කතරගම අසල නිල්මල්පැලැස්ස ඇගේ මධ්‍යස්ථානය බවට කතාවන්.

විභීෂණ:- දේවත්වයට ලංකාව පුරා ඇති විභීෂණ දේවාල.

කුඹුක්කන්:- කුඹුක් පැළය රෝපණය , කුඹුක්කන් ඔය ඔහුගේ නමින් හැඳින්වීම හා 1818දී විනාශ කළ කුඹුක්කන් අමුණ.

මය:- "මය මතය" නමැති ගෘහ නිර්මාණ ග්‍රන්ථය,මයතොට (මාතොට) වරාය හා විශ්වකර්ම විසින් ඉදිකළ බව කියන විහාරස්ථාන ඉන්ද්‍රජිත් ලංකා ශිලා ලිපි සංග්‍රහයේ ලිපිය.රාමසැර හා වත්මන් ලේසර් අවි භාවිතය. ඉඣු නමින් හෙළබසින් ඔහු හැදින්වේ.

කුවේර(කුබිර):- මොහුගේ පසුකාලීන වාසය වූ කෛලාශ පර්වතය අද දින සංචාරක මධ්‍යස්ථානයකි. ආටානාටිය සූත්‍රෙය්ද කුවේර යක් රජකු හැඳින්වේ. "බහිරව" රූපයද බහිරක පූජාවද අදත් භාවිතයේ ඇත.

දුම්රක්:- දිඹුලාගල පර්වතය අවට ධුමරාක්ෂ ගැන ජනප්‍රවාද  ඇත.යකුන්ගෙන් පැවත ආ වැදි ජනතාව මින් වසර 30ට ඉහතද මෙහි විසූහ.  
 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Pages