බි‍්‍රතාන්‍ය රජමැදුරුවල හොල්මන් සහ අවතාර - විස්මලන්තය

Thursday, January 17, 2019

බි‍්‍රතාන්‍ය රජමැදුරුවල හොල්මන් සහ අවතාර

‘ඔටුන්න දරන හිසට සැනසිල්ලක් නොමැත්තේය’ යන පැරණි කියමන බි‍්‍රතාන්‍යයේ රාජකීයයන් අතර ප‍්‍රකටය. මෙවැනි ප‍්‍රකාශනයක වලංගු භාවය තහවුරු කර ඇත්තේ ඓතිහාසික රාජකීය මාලිගා  බොහොමයක ආදී කාලීන කිරුළු දැරූ රජවරුන්ගේ හා රාජිනියන්ගේ හොල්මන් සහ අවතාරවලින් මෙම මාලිගා දැනටද තොර  නොවන නිසාය. එංගලන්තයේ වත්මන් මහ රැජින, ඇගේ සොයුරිය වූ මාග‍්‍රට් කුමරිය මෙන්ම දිවංගත මව් රැජිනද මෙකී රාජකීය අවතාර සියැසින් දැක ඇති බව වාර්තා වී ඇත.

වින්ඞ්සර් මාලිගය

windsor castle england සඳහා පින්තුර ප්‍රතිඵල

පළමු වැනි එළිසබෙත් රැජින 

වොර්ක්ෂයර් ප‍්‍රදේශයේ පිහිටි වින්ඞ්සර් මාලිගය තුළ ඇතැයි සැලකෙන පෞරාණික අල්මාරි රැසක් තුළ තැන්පත් කොට ඇතැයි කියනු ලබන විසිපහක් පමණ වූ මිනිස් ඇටසැකිලි අතර පූර්ව රාජ්‍යත්වය දැරූවන් සිව්දෙනකුගේ  ඇට සැකිලිද වෙතැයි කියැවේ. මාග‍්‍රට් කුමරිය විසින් පළමු වැනි එළිසබෙත් රාජිනිය ගේ අවතාරය දැක ඇත්තේද වින්ඞ්සර් මාලිගය තුළදීය. එංගලන්තයේ ටියුඩර් රාජ පරම්පරාවේ අවසන් වරට  කිරුළ දරා ඇත්තේ පළමුවැනි එළිසැබෙත් මහ රැජින විසිනි. ඇය මිය ගියේ 1603 දී ය. රැජිනගේ අවතාරය බෙහෙවින් දර්ශනය වී ඇත්තේ මාලිගයේ පුස්තකාලය තුළදී යැයි කියනු ලැබේ.දිනක් දෙවැනි එළිසබන් රැජින ඇගේ නැගණිය මාග‍්‍රට් සමග වින්ඞ්සර් මැදුරේ පුස්තකාලයේ කාලය ගත කළහ. ඔවුනට ඇසී ඇත්තේ පියවර හඬකි. මේ මහා රාත‍්‍රියේ සිය රජ මැදුර තුළ සැරිසරන්නේ හොල්මනක් දැයි බලන්නට දෙසොයුරියෝ පියවර හඬ ඇසුණු දෙසට ඇවිද ගියහ. සැබැවින්ම ඒ හොල්මනක් බව ඔවුනට පසක් වූයේ ඔවුන් ඉදිරිපිට සිටියේ පළමු වැනි එළිසබත් රැජින නිසාවෙනි. 

දෙපතුලටම දිගු කළු පාට ගවුම ඇඳ උරහිසින් කළු පාට ‘‘වෝල’’යක් දමාගත් ඇය අඩි උස සපත්තු පැළඳගෙන සිටියාය.වාර්තාවන අන්දමට දිනක් මාලිගයේ ආරක්‍ෂක භටයෙක් රැජිනගේ අවතාරය පිටුපසින් පුස්තකාලය කාමරයේ දොරටුව දක්වා ගමන් කර ඇත.එහෙත් කාමරය තුළ සෝදිසි කළ ද  ඔහුට එහි කිසිවකු නොසිටි බව ප‍්‍රත්‍යක්‍ෂවී ඇත. 

first elisabeth queen සඳහා පින්තුර ප්‍රතිඵල

පළමු වැනි එළිසබත් රැජින

පළමුවැනි චාල්ස් රජු

1649 වර්ෂයේදී පැවති සිවිල් යුද්ධ අවස්ථාවේ එරට පාර්ලිමේන්තුවේ සම්මුතියක් මගින් පළමුවැනි චාල්ස් රජුගේ හිස ගසා දමන ලද්දේ රජතුමා දේශද්‍රෝහී වූයේය යන චෝදනාව මතය. එම රජුගේ අවතාරයද ඉහත කී පුස්තකාලය තුළ වූ මේසයක් අසල සිටගෙන සිටිනු රජවාසල නිවැසියන් දැක ඇතැයි පැවසේ.

තුන්වැනි ජෝර්ජ් රජු

තවද 1820 දී ජනවාරි 29 වැනි දින අභාවප‍්‍රාප්ත වූ තුන්වැනි ජෝර්ජ් රජුගේ අවතාරය අවස්ථා කීපයකදීම මාලිගාවේ සේවක සේවිකාවන් විසින් දැක ඇත. මෙම රජතුමාගේ ජීවිතයේ අවසාන කාලය එතුමන් මානසික රෝගියකු වශයෙන් වැඩිපුරම කාලය ගෙවූයේ සිය කුටියෙහි සිට කවුළුවකින් පිටත බලාගෙනය. එවිට ඔහුට පෙනුණේ සිය හමුදා සෙබළුන් සරඹ ක‍්‍රීඩාවල යෙදෙන ආකාරයයි.රජතුමා ජීවත් ව සිටියදී නිරතුරුව අසන ලදැයි කියනු ලබන ” මොකක්ද ? මොකක්ද?” යන ප‍්‍රශ්නය මාලිගයේ කාමර සිසාරා බොහෝ අවස්ථාවල රැව්දුන් බව ද කියනු ලැබේ. අභාවයෙන් පසුව වින්ඞ්සර් මාළිගා භූමිය තුළම වළ දැමූ බැවින්දෝ රජු මිය ගියත් මැදුර හැර නොගියේය.පළමු වතාවට ජෝර්ජ් රජුගේ අවතාරය දැක ඇත්තේ උයන් පල්ලෙකි. රජු නිතර සිටි කුටියෙහි ජනේලයෙන් බලා ඉන්නා හැටි දුටු ඔහු පළමුව විමතියට පත් විය. පසුව එය අවතාරයක් බවට ඔහු වටහා ගත්තේය.තුන් වැනි ජෝර්ජ් රජුගේ අවතාරය දුටු අට වැනි හෙන්රි රජු මේ අවතාරය හරියටම හඳුනා ගත්තේය. පුස්තකාලය කිට්ටුවම සැරිසරන මේ රාජකීයයා අදටත් ඇතැම් රැයක මැදුර තුළ ඇවිද යයි. 
තුන් වැනි ජෝර්ජ් රජු

අටවැනි හෙන්රි රජු

 eight hendri king in england සඳහා පින්තුර ප්‍රතිඵල

දැවැන්ත ශරීරයකින් හෙබිව සිටි එංගලන්ත රජකු වූ අටවැනි හෙන්රි රජුගේ අවතාරයද මාලිගය පුරා කරක් ගැසූ බවට වාර්තා වී තිබේ.  1977 තරම් මෑත යුගයේ දී ද රාජකීය අවි ගබඩාවේ මෙම රජුගේ අවතාරය සැරිසරා ඇත. ආරක්‍ෂක භටයන් දෙදෙනකු  විසින් එකවර  දැක ඇතැයි පැවසෙන එකී දසුනේ දී අවි ගබඩාවේ එක් බිත්තියක් මධ්‍යයෙන් රජතුමා පිට වී ගිය ආකාරයක් ඔවුන් විසින්  දක්නා ලදැයි පැවසේ. එම ඉසව්වෙහි කිසිදු දොරක් හෝ කවුළුවක් නොතිබුණු බවද කියනු ලැබේ. කරුණු එසේ වුවද පසුව සොයා ගනු ලැබූ ඓතිහාසික සාධකවලට අනුව ඔප්පු වී ඇත්තේ රජතුමා ජීවත්ව සිටි  අවධියෙහි අවි ගබඩාවේ එම ස්ථානයේ දොරටුවක් තිබුණු බවකි.

හර්න්ගේ අවතාරය

වින්ඞ්සර් මාලිගයෙහි රාජකාරි කළ තරුණ ආරක්‍ෂක භටයෙක්  1927 දී සියදිවි හානි කරගෙන ඇත. පූර්ණ නිල ඇඳුමෙන් සැරසීගත් මෙම භටයා ආයුධ සන්නද්ධව, මාලිගයේ දීර්ඝ කොරිඩෝව දිගේ ගරු ගම්භීර ලෙස ඇවිදගෙන එන ආකාරය සියැසින් දුටු ජීවමාන ආරක්‍ෂක භටයන් කීප දෙනකුම වී යැයි කියනු ලැබේ. ඔවුන් ගෙන් බොහෝ දෙනකු එම අවස්ථාවල සිතාගෙන ඇත්තේ තම සේවා මුරය අවසන් කරවීම සඳහා එසේ පැමිණෙනුයේ ඊළඟ සේවා මුරය භාරගන්නා භටයා ලෙසටය. එහෙත් වැඩිකල් නොයාම එය මියගිය ආරක්‍ෂකයාගේ අවතාරය බව තහවුරු වී ඇත.

වින්ඞ්සර් මාලිගා උද්‍යානය හරහා ගලායන ශීත දිය පහර අසල මුර සේවයේ  යෙදී සිටි සෙබළෙක් 1976 දී අමුතු ආකාරයේ හොල්මනක් දැක සිහි මුර්ජාවට පත්වී පියවි සිහිය එළඹෙන තෙක් විවිධ ප‍්‍රථමාධාරවලට ලක්කරනු ලැබූ ඔහු පසුව ප‍්‍රකාශ  කර ඇත්තේ ”හර්න්” නමැති දඩයක්කාර දේවතාවා ඔහු විසින් දක්නා ලද බවය. මුව සමෙන් පිළියෙල කරන ලද වස්ත‍්‍ර ඇඟලා සිටි ”හර්න්” හෙල්මටයක් වැනි  ශිර්ෂ පළඳනාවක් දරා සිටියද ඔහුගේ නළල් තලයෙන් පිටතට නෙරාගිය අං  තට්ටුවක්ද තිබූ බව සෙබළා විසින් පවසනු ලැබ ඇත. බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදනය කරනු  ලැබ ශ්‍රී ලංකාවේද විකාශය වූ ”රොබින් හුඞ්” ටෙලිනාට්‍යයේ මෙම ”හර්න්”  නමැති වන අධිපති දේවතාවා පැහැදිලි ලෙස නිරූපනය වීය. ඉකුත් වසර දෙසිය පනහ මුළුල්ලේම වින්ඞ්සර් මාලිගය තුළ සහ අවට ”හර්න්” ගේ අවතාරය දුටු බවට වාර්තා වූ  අවස්ථා බහුලය. මාලිගා භූමිය සිසාරා හර්න් ගේ අවතාරය දඩයක්කරුවකුගේ විලාශයෙන් දිව යනුයේ බියකරු දඩ බල්ලන් රැළක්ද සමගින් බව ඇතැමුන් පවසා තිබේ. මෙම දඩයක්කරුවා මිය ගියේ යැයි  සැලකෙනුයේ  ඕක් ගසක එල්ලීම නිසා යැයි ජනප‍්‍රවාදයක් ඇත.ඵම ප්‍රවාදය මෙසේ ය. 
වින්ඞ්සර් මැදුර මතට සඳ එළිය පතිත වන රැයක එහි සුන්දර උද්‍යානය වඩාත් අලංකාරව පෙනෙයි. මේ බඳු රැයක තුන් වැනි රිචඞ් රජුගේ දඩයක්කාරයා මේ උද්‍යානයට පිවිසෙයි. අතීතයේ මෙ බිම පුරා දුව පනිමින් සතුන්ට ගිනි බින්ද ලෙසින් උයන පුරා සැරිසරන ඔහු හර්න්ගේ අවතාරයයි.
වින්ඞ්සර් මැදුරට යාබදව පිහිටි වන රජ දහනේ දඩයමේ යෑම තුන් වැනි රිචඞ් රජුගේ ප‍්‍රියතම විනෝදාංශයයි. ඔහු බොහෝ විට දඩයමේ යන්නේ සිය විශ්වාසවන්තම දඩයක්කාරයා වූ හර්න් සමගය. එදා ද රජු ගෝනෙකුට ගිනි බින්දේය. එහෙත් බරපතළ තුවාල ලැබූ ඌ වියරු වැටුණා මිස මිය ගියේ නැත.
මරු විකල්ලයෙන් වියරු වැටුණු ගෝනා රජුත් දඩයක්කාරයත් ඉදිරියට දිව ආ අතර උගේ බිහිසුණු ප‍්‍රහාරයට රජු ගොඳුරු වන්නට තිබුණේ ඇසිල්ලක් පමණි.පලා යන්නැයි රජුට පැවසූ දඩයක්කාරයා පෙන්නා ඉදිරියට පැන්නේ රජුගේ ජීවිතය බේරා ගැනීමටය. මිනිසාත් තිරිසනාත් අතරට පැන්නේය. රජු බේරා ගත යුතු බැවින් දඩයක්කාරයා ගෝනා ඉදිරියට පැන්නේය. ඉක්බිති ඔහුත් ගෝනාත් අතර හටගත්තේ දරුණු අරගලයකි. ගෝනාගේ අං තට්ටුව දඩයක්කාරයාට තුවාල කළා සේම ඔහුගේ ගිනි අවිය ගෝනාට ද තුවාල කළේය. අවසානයේ ගෝනා මැරී වැටුණු අතර දඩයක්කාරයා තුවාල වී නොමැරී බිම වැටුණි.ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පළඳවන්න එතකොට ඔහුට සනීප වේවි,මායාකරුවෙකු පැවසුවේය. එබැවින් මිය ගිය ගෝනාගේ අං තට්ටුව කපා දඩයක්කාරයාගේ හිස පැලැන්දුවේය. දින කීපයකට පසුව සුවපත් වූ හර්න් එවක් පටන් රජුගේ හිතෛෂිවන්තයා බවට පත් විය.මේ ලෙන්ගතුකම අනෙකුත් දඩයක්කාරයන්ගේ ඊර්ෂ්‍යාවට හේතුවක් වූ අතර ඔවුහු රජුට හර්න් පිළිබඳ බොරු කේලාම් කීහ.එහි ප‍්‍රතිඵලය වූයේ රජු විසින් හර්න් තනතුරෙන් පහ කිරීමය. ඉන් විස්සෝප වූ හර්න්, වින්ඞ්සර් මැදුර අද්දර වූ කැලයට ගොස් ඕක් ගසකට නැගී එල්ලී සිය දිවි නසා ගත්තේය.එවක් පටන් අදටත් මේ දඩයක්කාරයාගේ අවතාරය වින්ඞ්සර් මැදුර සහ ඔහු දිවි නසා ගත් ඕක් ගස වැනි ස්ථානවල සැරිසරන්නේලූ. 1863 දී එම  ඕක් ගස කපා බිම හෙළන ලදුව එම අවස්ථාවේදී වික්ටෝරියා මහ රාජනීය එම ගසේ දර ස්වකීය පෞද්ගලික පාවිච්චිය සඳහා වෙන් කරවාගෙන ඇත. තමන් කෙරේ එල්ල විය හැකි භූත බිය පහ කරවීම පිණිස එසේ කරන ලද බව ද පැවසේ. එහෙත්  ඕක් දර දැවීමෙන් පසුවද භූතයා දෘශ්‍යමාන වීම නතර නොවූ බවද කියනු ලැබේ.

සර් ජෝර්ජ් විලියර්ස් නම් වූ රාජකීය ප‍්‍රභූවරයා 

17 වැනි සියවසේ සිදුවූ භූත සිද්ධියක් මෙසේය. සර් ජෝර්ජ් විලියර්ස් නම් වූ රාජකීය ප‍්‍රභූවරයෙක් දිනක් මාලිගයේ නතර වී සිට ඇත. හදිසියේ ඔහු වෙත දිව ආ පාකර් නමැති සේවකයා පවසා ඇත්තේ එම ප‍්‍රභූවරයාගේ මියගිය පියා පූර්ණ සන්නද්ධ ඇඳුම් ආයිත්තමින් සැරසී අවස්ථා තුනකදී මාලිගයට පැමිණ ඇති බවය. බකිංහැම්හි ආදිපාද ධුරය ද දැරූවකු වූ එම ප‍්‍රභූවරයාගේ මෙම අවතාරය විසින් දෙන ලදැයි කියන විශේෂ පණිවුඩයක්ද වීය. ”ස්වකීය පුත‍්‍රයා වන ශ්‍රීමත් ජෝර්ජ් විලියර්ස් අනුගමනය කරමින් සිටියේ යැයි කියන කෲර කි‍්‍රයා පරිපාටිය වහාම වෙනස් නොකළේ නම් ඔහුට වැඩි කලක් යහතින් ජීවත්වීමට නොලැබෙනු ඇත” යන්න එකී පණිවුඩයයි. එහෙත්  ජෝර්ජ් විලියර්ස් එම අනතුරු ඇඟවීම අවඥාවෙන් බැහැර කළ අතර ඊට මාස හයකට පසුව සාහසිකයකු විසින් ඝාතනය කරනු ලැබූ බවද වාර්තා වී ඇත. 

හැම්ටන් මන්දිරය

hampton castle england සඳහා පින්තුර ප්‍රතිඵල

සුප‍්‍රකට තේම්ස් නදිය ආසන්නයේ පිහිටා ඇති හැම්ප්ටන් මාලිගය සහ උද්‍යානය එංගලන්තයේ මහත් ප‍්‍රසිද්ධියට පත්වූ ස්ථානයකි. එංගලන්තයේ රජ පරපුර සියවස් ගණනාවක් වාසය කළ මාලිගයක් වූ මෙය අද හොල්මන් හා අවතාර පිළිබඳ කතා බොහොමයකින් සමන්විත ස්ථානයකි. පහළොස්වැනි සියවසේ දී පමණ ඉදිකිරීම් ආරම්භ කළ මෙහි හිමිකරුවා වූයේ කාදිනල් වුල්සෙයි නමැති අයෙකි.අටවැනි හෙන්රි රජුගේ හිතවතකු වූ ඔහු මේ මන්දිරය රජුට පරිත්‍යාග කරන ලද බව ඉතිහාසයේ සඳහන් වේ. කාදිනල්වරයා ද මාලිගයේ එක් නිවෙසක වාසය කැර තිබේ. කාදිනල්වරයා 1529 දී මියයාමෙන් පසු අටවැනි හෙන්රි රජු මේ නිවාස සංකීර්ණය මහා මන්දිරයක් බවට පත්කැර ඇත. අක්කර 1100 ක් විහිදුණු උද්‍යානයක් සහිත මාලිගයේ ඇති කාමර සංඛ්‍යාව 280 කි. රජුගේ ටෙනිස් පිටියත්, දේවස්ථානයත්, සොහොන් උද්‍යානයත් පමණක් නොව කැලෑබද ප‍්‍රදේශයකින් ද සමන්විත මාලිගා සංකීර්ණයේ ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1540 දී ය. තියඩෝර් රජ පරපුරෙන් පැවත අටවැනි හෙන්රි රජු රෝමානු කතෝලිකයකුව සිට පසුව ඇංග්ලිකන් දහම වැළඳගෙන රෝමානු කතෝලික පවුල් ඝාතනය කිරීමට ද කටයුතු කළ දරුණු පාලකයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. අටවැනි හෙන්රි රජු එංගලන්තය සහ අයර්ලන්තය පාලනය කළ හත්වැනි හෙන්රි රජුගේ සහ යෝර්ක්හි එලිසබෙත් රැජිනගේ තුන්වැනි දරුවාය. 1491 ජුනි 28 වැනිදා උපත ලද ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනකු සිටියද වැඩි පිරිසක් කුඩා කලම මියගොස් තිබේ. 1509 අප්‍රේල් මස 21 වැනිදා හත්වැනි හෙන්රි රජු මියගිය පසු හෙන්රි කුමරා අටවැනි හෙන්රි ලෙස රජවූවේය. එතැන් පටන් 1547 ජනවාරි මස 28 වැනිදා මියයන තුරු එංගලන්තයේ පාලකයා වූ අටවැනි හෙන්රි රජු එංගලන්ත වැසියන් 72,000 ක් පමණ මරා දැමූ බවට මතයක් තිබේ. මෙලෙස රජුගේ වද හිංසාවටත් මරණ දඩුවමටත් පාත‍්‍ර වූවන් අතර එංගලන්තයේ සොරුන්, කොල්ලකරුවන්, රාජද්‍රෝහීන් පමණක් නොව, ආගමික නායකයන්, වංශවතුන් හා රජුගේම බිසෝවරු ද සිටිති. ලොව හොල්මන් හා අවතාර පිළිබඳ ප‍්‍රකට මහා මන්දිර අතරින් අටවැනි හෙන්රි රජුගේ හැම්ප්ටන් මන්දිරයට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. එංගලන්තයේ රජවරුන් අතරින් වැඩිම විවාහ ගණනක් කරගත් අටවැනි හෙන්රි රජුගේ විවාහ සංඛ්‍යාව හයකි. ඔහුගේ රාජ්‍ය කාලයේ දී විවිධ අද්භූත සිදුවීම් වූ බවත්, ඉතා දරුණු රාෂ්ට‍්‍ර පාලකයකු වූ ඔහු කළ සාපරාධී කි‍්‍රයා හේතුවෙන් හෙන්රි රජුගේ රාජ මන්දිරය දැන් හොල්මන් ගුහාවක් බවට පත්ව ඇතැයි එංගලන්ත වැසියෝ විශ්වාස කරති. ඔවුන් පවසන්නේ හෙන්රි රජු ජීවත්ව සිටියදී එහි සිදුවූ අපරාධවලට මුහුණදුන් පුද්ගලයන් දැන් අවතාර බවට පත්ව මන්දිරයට අරක් ගෙන ඇති බවයි.

හෙන්රි රජුගේ බිරිඳගේ අවතාරය

බොහෝ දෙනකු පවසන්නේ හෙන්රි රජු විසින් හිස ගස්වා මරා දමන ලද ඔහුගේම බිරිඳගේ අවතාරය මේ මන්දිරයේ සැරිසරන හොල්මන් අතර ප‍්‍රධාන ස්ථානයක් ගන්නා බවයි. එමෙන්ම හෙන්රි රජුගේ සිත් ගත් සේවිකාවක් ද තවමත් මන්දිරය අතහැර ගොස් නැතැයි ද ඇතැම් පිරිසක් කියති.                                      හෙන්රි රජුගේ ආරක්ෂක අංශයේ සේවය කළ සොල්දාදුවන් කිහිප දෙනකු ද අවස්ථා ගණනාවකදී මේ මන්දිරියේ දී දැක ඇති බවට කතා පැතිර තිබේ. මනුෂ්‍යයන් ලෙස ජීවත් වූවන්ගේ අවතාර පමණක් නොව හෙන්රි රජුගේ මාලිගාවේ සිටි බල්ලන් ද අවතාර බවට පත්ව තවමත් සිටින බව පැවසේ. මෙවැනි අවතාර සියැසින් දුටු බවට අවස්ථා ගණනාවක දී විවිධ වාර්තා පළවී තිබේ. මේ අතරින් සුවිශේෂී අවස්ථාවක් උදාවූයේ 2003 වර්ෂයේදීය. දෙසැම්බර් 20 වැනිදා සමස්ත එංගලන්තයම නත්තල් උත්සවය සඳහා සූදානම් වෙමින් තිබිණි. නත්තල සඳහා සියළු දෙනාම සූදානම් වෙද්දී ජේම්ස් ෆොක්ස් නමැති නිලධාරියෙක් හැම්ප්ටන් මාලිගාවේ ආරක්ෂාව භාරව සිටියේය. එංගලන්තයේ ශීත සෘතුවයි. හිම පතනය වෙමින් තිබේ. හාත්පස උත්සවශී‍්‍රයෙන් ඇළලී යමින් තිබේ. හිටි හැටියේ මාලිගයේ අනතුරු හැගවීමේ නලා නාද වන්නට විය. ගින්නක් ඇතිවූ විට නාදවන නලා හඩින් මුළු මාලිගයම දෙදරා යද්දී ෆොක්ස් ඇතුළු පිරිස වඩාත් විමසිලිමත් වූවේය. මෙවැනි නලා හඩක් නැගෙන්නේ ගින්නක් ඇති වූ අවස්ථාවක දී පිටව යාමට ඇති හදිසි දොරටුවක් විවෘත කළහොත් පමණි. සියලූ දෙනාම වහ වහා යුහුසුළු වූහ. ආරක්ෂකයන් ඒ මේ අත දිව යමින් සෑම ස්ථානයකම සෝදිසි කළ ද ගින්නක් හටගත් බවට කිසිදු සාක්ෂියක් ලැබුණේ නැත. එමෙන්ම හදිසි දොරටු සියල්ල සෝදිසි කළ විට දැනගන්නට ලැබුණේ එවැනි දොරටු කිසිවක් විවෘත කර නොතිබූ බවයි. කිසිවෙකු විසින් දොරටුවක් විවෘත කරනු ලැබීමකින් තොරව හා අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමකින් තොරව මෙවැනි හඩක් නැගුනේ කෙසේ දැයි ඔවුන් පුදුමයට පත්ව සිටියේය. ගතවූයේ විනාඩි කිහිපයකි. යළි පෙර පරිදිම අනතුරු හැගවීමේ නලා හඩ නිකුත්වන්නට විය. ජේම්ස් ෆොක්ස් ඇතුළු පිරිස යළිත් වහාම කි‍්‍රයාත්මක වූහ. මාලිගාවේ සෑම ස්ථානයක්ම පරීක්ෂා කැර බැලූහ. ගින්නක් ඇතිවූ බවට කිසිදු සළකුණක් නැත. දොරටුවක් විවෘත කර නැත. නමුත් නළා හ`ඩ නිකුත්වෙමින් තිබෙන්නේ මාලිගාවේ අනතුරක් පිළිබඳ සේයාවක් පවතින බැවිනි. ‘‘කවුරු හරි අපත් එක්ක සෙල්ලම් කරන්න හදනවා වගේ’’ ෆොක්ස් තම සහාය නිලධාරීන්ට එසේ කීවේය. මද වේලාවක වෙහෙස වීමෙන් පසු ඔවුහු ශබ්දයට හේතුවන ස්ථානය සොයා ගැනීමට සමත්වූහ. හදිසි ගින්නක දී පිටව යාම සඳහා හැම්ප්ටන් මාලිගයේ සුවිශාල ආලින්දයේ හදිසි පිටවීමේ දොරටුවක් තිබේ. නලා ශබ්දය ආරම්භ වන්නේ එතැනිනි. කවරකු හෝ විසින් මෙම දොරටුව විවෘත කරන විට නලා ශබ්දය නිකුත් වේ. නමුත් පුදුමයකි. එය විවෘත කළ බවට කිසිදු සලකුණක් නැත. වැඩි බරකින් යුතු මේ දොරටුව පහසුවෙන් විවෘත කළ හැකි දෙයක් ද නොවේ. මෙම ස්ථානයේ විශේෂත්වයක් තිබේ. එම ආලින්දය දැන් ප‍්‍රසිද්ධව ඇත්තේ අමනුෂ්‍ය ආලින්දය යනුවෙනි. අටවැනි හෙන්රි රජුගේ පස්වැනි විවාහක බිරිය කැතරින් හොවාර්ඞ් ආර්යාවගේ අවතාරය මේ ආලින්දයේ නිතර නිතර සැරිසරන බව එංගලන්ත වැසියන්ගේ දැඩි විශ්වාසයකි. වර්ෂ 1542 පෙබරවාරි මස 13 වැනිදා මෙම ආර්යාවගේ හිස ගසා දමා මරණයට පත්කැර තිබිණි. ඇයට එල්ලවූ චෝදනාව වූයේ වෙනත් පිරිමියකු සමග සබඳතා පැවැත්වූවාය යන්නයි. මරා දමා දින කිහිපයකට පසු පටන් ඇය මේ මාලිගයේම වාසය කරනු රජමැදුරේ සේවක සේවිකාවන් පවා දැක ඇතැයි පැවසේ. මාලිගාවේ ආරක්ෂකයෝ මේ සිද්ධියෙන් තැති ගත්හ. කිසිවකුත් විවෘත නොකළ දොරකින් වරින් වර නලා හඩ නිකුත්වෙයි. ඒ දොරටුව ආර්යාවගේ හොල්මන සිටින ආලින්දයේ දොරටුවයි. ගුප්ත සිදුවීම් සහ හොල්මන් කතා දැඩි සේ විශ්වාස කරන එංගලන්තයේ හැම්ප්ටන් මැදුරේ සිටින ඔවුන්ට බියට පත්වීමට හේතුකාරණා අතීතය විසින් නිර්මාණය කරන ලද කතාන්තරවල ගැබ්ව තිබිණි. ‘‘මේක මහ පුදුම වැඩක්. නලා හඩ නිකුත්වූ අවස්ථා දෙකේදීම අපි දොරටුව පරීක්ෂා කළා. ඒත් දොරටුව වැසූ ආකාරයෙන්ම තිබුණා. මේ දොරටුව තිබෙන ප‍්‍රදේශයට කිසිවකුටත් ඇතුළුවිය නොහැකි ස්ථානයක්. ආරක්ෂකයන්ට පමණයි මෙහි යාමට හැකියාව තිබෙන්නේ. අපේ ඒකකයේ කිසිවෙකුත් මෙහි ගිහින් තිබුණේ නැහැ. මේක ඇත්තටම පුදුම ගැටළුවක්’’ ෆොක්ස් එසේ කීවේය. මාලිගාවේ ස්ථාන රැසක ආරක්ෂක කැමරා සවිකැර තිබේ. මේ දොරටුව අසල ද එවැනි කැමරාවක් සවිකැර තිබෙන බැවින් එය පරීක්ෂාකොට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීම ඔවුන්ගේ අරමුණ වූවේය. ඉතා ඉක්මණින් ඔවුන් මෙය නිරීක්ෂණය කරන්නට තීරණය කළහ. ඒ අනුව මුලින්ම නළා හඩට හේතු වූ වේලාව ඔස්සේ යමින් ඔවුහු වීඩියෝ පටිය පරීක්ෂා කරන්නට වූවේය. පුදුමයකි, විශාල බරකින් යුතු දොර ඉබේම විවෘත වෙයි. ඒ සමගම නළා හඩින් ගිගුම් දෙන්නට විය. නමුත් විවෘත වූ දොර යළි වැසෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පුදුමය තවත් වැඩිවන්නට විය. වීඩියෝ පටිගත කිරීමට දොර වැසෙන්නේ නැත. පළමු නලා හඩ නිකුත්වීමෙන් පසු එම දොර ඔවුන් පරීක්ෂා කළ ද ඒ මොහොතේ එය විවෘතව තිබුණේ නැති බව ඔවුන්ගේ විශ්වාසයයි. දොර විවෘතව පවතී. දෙවැනි වතාවේ නලා හඩට හේතුවන්නේ කුමක්දැයි ඔවුහු පරීක්ෂා කළහ. සිදුවන දේ ඔවුන්ට අදහාගත නොහැක අද්භූත මුහුණක් ඇති දැවැන්ත මිනිසකු පැමිණ විවෘතව ඇති දොර වසා දැමුවේය. ඒ සමග යළි නළා හඩ ගිගුම් දෙන්නට විය. ‘‘ඒ මනුස්සයා පැහැදිලිවම දක්නට ලැබුණා. අද්භූත රූපයක්. අපට දෑස් අදහාගන්න බැහැ. මුහුණනම් මනුස්සයකුගේ වගේ නොවෙයි. ඇඳ සිටියේ කි‍්‍රස්තු වර්ෂ 1500 දී පමණ මිනිසුන් හැඳ සිටි ආකාරයේ ඇඳුම්. අප දන්නා විදියට හෙන්රි රජුගේ කාලයේ මිනිස්සු ඇන්දේ ඒ ඇඳුම්. අප හැමෝම මොහොතක් තුෂ්ණිම්භූතව බලා සිටියා.’’ ආරක්ෂක නිලධාරීන් වහාම කි‍්‍රයාත්මක වූවේය. ඔවුන් කොතෙක් භීතියට පත්වුව ද ඔවුන් සියළු දෙනාට අවශ්‍ය වූයේ මේ දොර වසා දමන්නේ හොල්මනක් නොව යම් මිනිසකු විසින් යැයි තහවුරු කැර ගැනුමටයි. ඒ අනුව වහාම මාලිගාවේ සේවය කරන සියළුම සංචාරක මග පෙන්වන්නන් මොහොතකින් එක් ස්ථානයකට කැඳවූවේය. මේ සංචාරක මග පෙන්වනෝ පැරණි කාලයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සංචාරකයන් රැගෙන මාලිගාව වටා ගමන් කරති. ආරක්ෂකයන්ගේ වුවමනාව වූයේ මේ දොර වසා දමන්නේ හැම්ප්ටන් මාලිගාවේ සිටින අවතාරයක් නොව සංචාරක මගපෙන්වන්නෙක් බව තහවුරු කැර ගැනීමයි. ඔවුහු සියුම් පරීක්ෂණයක් කළහ. කිසිදු සංචාරක මග පෙන්වන්නකු සතුව දොර වසා දැමූ රූපයේ ආකාරයේ පැරණි ඇඳුමක් තිබුණේ නැත. වීඩියෝ දර්ශනයේ සටහන් වූ රුවට සමාන රූපකායක් ඇත්තෙක් එදින මාලිගාවේ සිටියේ ද නැත. ඉතිරිවූයේ තවත් ගැටළුවක් පමණි. ෆොක්ස් මෙසේ ද පවසා තිබේ. ‘‘මේ සිදුවීම වූ ප‍්‍රදේශය අමුත්තන්ටත් සංචාරක මගපෙන්වන අයටත් තහනම් කලාපයක්. ඒ නිසා එම ස්ථානයට කිසිවකුට යාමට හැකියාවක් නොමැති බව අපිට ස්ථිරයි. එතැනට යාමේ හැකියාව හා අවසරය තිබුණේ අපේ ආරක්ෂක නිලධාරීන්ට පමණයි. මේ අනුව අපි හැමෝම පුදුමයටත් භීතියටත් පත්වීම අරුමයක් නොවෙයි’’ තව දුරටත් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මාලිගාව නැරඹීමට එන අමුත්තන්ගේ සටහන් තබන පොතේ ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක් තබා ඇති සටහනකි. එයින් කියවුනේ ‘‘මාලිගයේ අද්භූත ආලින්දය කියා සඳහන් වන කොටස ආසන්නයේදී මම පුදුමාකාර මිනිස් රුවක් දුටුවා’’ යනුවෙනි. ඔහු සටහන තබා වේලාවද සටහන් කැර තිබිණි. මේ වේලාවත් නලාව ශබ්ද වූ වේලාවත් එකිනෙකට හරියටම ගැළපුනේය. එදින පැය ගණනක් වෙහෙසුණ ද අද්භූත රූපය ආරක්ෂක කැමරාවන්හි සටහන් වීම පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය කැරගත නොහැකි වූයෙන් එදින රාති‍්‍රයේ මේ හොල්මන් රුව ගැන ආරංචිය ලොව පුරා මාධ්‍යවලට විශාල පුවතක් වී තිබිණි. දෙසැම්බර් 21 වැනිදා ආරක්ෂකයන්ගේ කතා බහට වැඩිපුරම මාතෘකාව වූයේ තම කැමරාවන්හි සටහන්වූ අද්භූත රුව පිළිබඳ ලොව පුරාම ප‍්‍රචාරය වීම පිළිබඳවය. මේ අතර එදින ද හිටි හැටියේ නළා ශබ්දය නිකුත්විය. මාලිගාව වටා නොගොස් සියළු දෙනාගේ අවධානය යොමු වූයේ අද්භූත ආලින්දය වෙතටය. ඔවුන්ගේ අනුමානය නිවැරදිය. අද්භූත ආලින්දයේ දොරටුව කිසිවකු විසින් විවෘත කිරීම හේතුවෙන් නලා ශබ්දය හටගෙන තිබේ. කැමරාවේ ඇති දෙය ඔවුහු පිරික්සූහ. දොර ඉබේම විවෘත වෙයි. එය විවෘත කරන්නකු දක්නට නැත. මේ ගැන ආරක්ෂක ප‍්‍රධානී ෆොක්ස් යළි බලධාරීන්ට දන්වා සිටියේය. මෙම අද්භූත රුව පිළිබඳ කතාන්තරය බි‍්‍රතාන්‍යයයේ අද්භූත සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වන ආචාර්ය ටෙරී සුල්ලිවාන්ගේ අවධානයට ලක්විය. වීඩියෝ පටය පරීක්ෂා කළ ඔහු කියා සිටියේ මේ වෙනත් කිසිවකු නොව අටවෙනි හෙන්රි රජුගේ හොල්මන බවයි. ඔහු පවසන්නේ මේ ඡායාරූපය විශ්මිත දෙයක් බවයි. ‘‘ලොව කිසිදු ස්ථානයක හොල්මනක් සම්බන්ධයෙන් මෙවැනි පැහැදිලි රූපයක් කිසිදු ආකාරයකින් ලැබී තිබුණේ නැහැ. අපි අසා තිබෙනවා අටවැනි හෙන්රි රජුගේ බිරියන් ගණනාවක්ම මේ මාලිගයේ හොල්මන් කරන බව. හිසගසා මරා දැමූ ඈන් බොලෙයින්, කැතරීන් හොවාර්ඞ්, දරුවකු බිහිකිරීමේදී මියගිය සෙයිමුවර් වැනි ආර්යාවන් මේ මාලිගාවේ හොල්මන් කරනවා. ’’ මේ අද්භූත රුව පිළිබඳ සොයා බැලීමට එංගලන්තයේ හර්ට්ෆෝර්ඞ්ෂයර් විශ්වවිද්‍යාලයේ අධිමානසික කටයුතු පිළිබඳ ඒකකයේ අධිමානසික විද්‍යා අංශයේ ආචාර්ය රිචඞ් වයිස්මන් ද හැම්ප්ටන් මාලිගයට පැමිණියේය. ඔහු පවසන්නේ ආරක්ෂක කැමරාවේ සටහන්ව ඇති මේ රූපය පිළිබඳ වැඩිදුරටත් කරුණු පරීක්ෂාකැර බැලිය යුතු බවයි. ආරක්ෂක කැමරාවේ සටහන් වූ එය කිසිවක පරාවර්තනයක් නොවන බව පැහැදිලි අතරම පැහැදිලිවම හඳුනාගත හැකි ඡායාරූපයක් වීම විස්මය දනවන්නක් යැයි ආචාර්ය වයිස්මාන් පවසයි. ස්වයංකී‍්‍රය ආරක්ෂක කැමරාවෙන් බොරුවක් නිර්මාණය කැර පෙන්වීමට කිසිවකුටත් නොහැකි නිසා මේ කඩිනමින් සොයා බැලීමට උත්සාහ ගතයුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ‘‘සාමාන්‍යයෙන් භූතයන් ගැන සඳහන් වන්නේ පෙනී නොපෙනී යන ඡායාවන් ආකාරයෙන් නැතිනම් දුමක් වැනි දෙයක් ලෙසින්. නමුත් මෙය මිනිසකුගේ රුවකට ඉතාමත්ම සමීපයි. ඒ වගේම බොඳවූ ඡායාරූපයක් ද නොවෙයි. ඉතාමත්ම පැහැදිලි රූපයක්. මේ නිසා මෙය අමනුෂ්‍යයකුගේ නොවිය හැකියි. මාලිගාවේ සිටින අයකු කළ කි‍්‍රයාවක්ම වීමට ඉඩ තිබෙනවා.’’ හැම්ප්ටන් මාලිගාවේ මේ හොල්මන් කතාව මෙතෙක් නොවිසඳුණු සිදුවීමකි.

ජේන් සෙයිමෝර් ගේ අවතාර

හැම්ප්ටන් මාලිගය තුළදී බොහෝ දෙනෙක් දැක ඇතැයි පැවසෙන තවත් රාජකීය අවතාරයකි අටවැනි හෙන්රි රජතුමාගේ තෙවැනි බිරිඳ වූ ජේන් සෙයිමෝර් ගේ අවතාර ය. දල්වන ලද ඉටි විලක්කුවක් අතැතිව යහන් ගැබින් නික්මෙන මෙම අවතාරය මාලිගේ ප‍්‍රධාන ශාලාව වටා ගමන් කිරීම ඔක්තෝබර් 12 වැනි දින රාති‍්‍රයේ සිදුවන්නක් ලෙස කලක් ප‍්‍රකටව පැවතී ඇත. එම දිනය දේවියගේ පුත‍්‍ර කුමාරයා වූ හයවැනි එඞ්වඞ් රජුගේ උපන් දිනය බවද කියනු  ලැබේ. කුමරුන්ගේ උපතින් සතියකට පසුව දේවිය මියගිය බව බි‍්‍රතාන්‍යය ඉතිහාසයයේ වාර්තාගත සත්‍ය කරුණුය. ශාරීරික වශයෙන් දුර්වල  පුද්ගලයකු වූ එඞ්වඞ් කුමරා වයස අවුරුදු දහයෙහි දී කිරුළ පැළඳිය ද රාජ්‍යත්වයේ කල් ගෙවා ඇත්තේ ඉතා කෙටි කලකි. කුමාරයාගේ කිරි මව ලෙස සේවය කළ සීබෙල් පෙන් නමැති කාන්තාවගේ අවතාරය ද හැම්ටන් මාලිගය දැක ඇති බවට වාර්තා සුලභය. 1568 දී වසූරිය  රෝගයෙන් මියගිය මෙම රජවාසල සේවිකාවගේ දේහය  මාලිගය සමීපයෙහි පිහිටි ශාන්ත මරියා දේවස්ථාන භූමියේ මිහිදන් කරන ලද නමුත් අකුණු සැරයක් හේතුවෙන් මෙම දේවස්ථානය විනාශවීම නිසා ප‍්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත. එම කටයුතු අතරතුර සීබෙල්ගේ සොහොන්ගැබ ද වෙනත් ස්ථානයෙක පිහිටුවීමට තරම් රාජකීය අනුග‍්‍රහය ඇය වෙනුවෙන් ලබාදී තිබේ. එහෙත් ඉන්පසුව නිරතුරුවම දුක්බර අඳෝනා සහ කෙඳිරිලි මාලිගයේ බිත්ති පිටුපසින් ශ‍්‍රවණය වී ඇත. මාලිගයෙහි එම ප‍්‍රදේශයෙහි පසුව කරන ලද ප‍්‍රතිසංස්කරණ කටයුතුවල දී කඩා දමනු ලැබු බිත්ති අත්තිවාරමක් විසින් නූල් කැටීමේ යන්ත‍්‍රයක සුන්බුන් හා ඉහත කී කාන්තාව විසින් පරිහරණය කරන්නට ඇතැයි  සැලකෙන භාණ්ඩ කීපයක්ද හමුවී ඇත. මාලිගයේ නිරිත දිග ශාලාවක් ඔස්සේ සීබෙල්පෙන් ”කිරි අම්මා” ගමන් කරනු කීප දෙනකු විසින්ම දැක ඇත. කෙට්ටු සිරුරකින් හෙබි සීබෙල් පෙන් දුඹුරු පැහැති දිග ගවුමක් සහ රෙදි තොප්පියක් පැළඳ සිටින අතර බැගෑපත් ආයාචන ඉරියව්වෙක විලාශයෙන් දෑත් ඉදිරියට විහිදුවාගෙන ගමන් කරන බවද දුටුවන් පවසා තිබේ. 1881 දී ආරක්‍ෂක භටයෙකු විසින් ද සීබෙල් අවතාරය දැක ඇත. 1917 වර්ෂයේ නවම් ශීතල සහිත රාති‍්‍රයක හැම්ටන් මාලිගයේ ආරක්‍ෂක රාජකාරි කළ පොලිස් කොස්තාපල්  (2657) වශයෙන් පමණක් හැඳින්වී ඇති ආරක්‍ෂකයා මාලිගයේ බිම්මහලේ එක්තරා ගේට්ටුවක් විවෘත කර ඇත්තේ රාජකීය  ආගන්තුක පිරිසක් වෙනුවෙනි. ඔවුන් අතර පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවන් හත්දෙනෙක් වූ අතර සැරසී සිටි ඇඳුම් ආයිත්තම් සියල්ල පෞරාණික ස්වරූපයක් ගත් ඒවා බව ප‍්‍රකාශ වී තිබේ. මෙම පිරිස ඔවුන් සඳහා විවර වූ ගේට්ටුවෙන් ඇතුළු වී කොරිඩෝව ඔස්සේ ගමන්කර  ඇත්තේ යාර 30ක පමණ දුරකි. අනතුරුව සියලූ දෙනාම කොරිඩෝවෙහි වූ අතුරු මගකට හැරුනා පමණි එකනෙකා අනුක‍්‍රමයෙන්  අන්තර්ධාන වී යැයි පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කර ඇත.

බකිංහැම් මාලිගය 

බකිංහැම් මාළිගය කාමර 775කින් සමන්විත දැවැන්ත ප‍්‍රාසාදයකි. රාජකීයයන් සහ අමුත්තන් වෙනුවෙන් වෙන් කළ නිදන කාමර 52ක්, කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙන් කළ නිදන කාමර 188ක්, කාර්යාල කාමර 92ක්, වැසිකිළි සහ නාන කාමර 78ක් ආදී වශයෙන් වූ කාමර රැසක් ඉහත කී කාමර 775ට ඇතුළත් ය. මේ අනුව මන්දිරයේ දිග මීටර් 108ක් පමණ වේ. 

පූජකවරයාගේ අවතාරය

මෙම සුවිශේෂ මැදුර බි‍්‍රතාන්‍ය රජ ගෙදර බවට පත් වූයේ 1837 වසරේදීය. එවකට එංගලන්ත රැජිනිය වූයේ වික්ටෝරියා මහේෂිකාවයි. එහෙත් මේ මැදුර තිබූ භූමියෙහි අතීතයේ තිබී ඇත්තේ තාපසාරාමයකි.

වෙස්ට්මිනිස්ටර් ඇබේ ලෙස කියැවෙන මෙම තාපසාරාමය සඳහා ඉඩම පවරා ඇත්තේ වසර 1536 දී එබුරි නම් නින්දගමෙනි. එහෙත් අට වැනි හෙන්රි එංගන්තයේ රජ කළ සමයේ දී මේ තාපසාරාමය එතැනින් ඉවත් කළේය. ජේම්ස් රජ සමයේ දී මෙබිම මල්බෙරි වගාවක් සඳහා යොදා ගත් අතර එවක මෙහි රජ කළේ පට පණුවන් ය. මේ බකිංහැම් මාළිගයේ හොල්මන් කරන අවතාර අතර එක් ප‍්‍රසිද්ධ අවතාරයක් වන්නේ හිටපු පූජකයෙකි.
කිසියම් වරදකට හිර කරන ලද මේ පූජකයා විඳි දඬුවම්වල බරපතළකම කොයි තරම් ද යත් ඔහු හිර කුටිය තුළම මිය ගොස් ඇත. ඉනික්බිතිව මෙබිම හැර නොගිය හෙතෙම අදටත් අවතාරයක් සේ මෙහිම සැරිසරයි. එදා පැළැඳි දුඹුරු පැහැති ලෝගුව පැළඳ ගෙනම සෑම නත්තල් දිනකම බකිංහැම් මාළිගයේ කාමරවලත් අවට එළිමහනේත් සැරිසරන මේ අවතාරය බකිංහැම් මාළිගයේ කොයි කාටත් හුරු පුරුදුය.

මේජර් ජෝන් ග්වායන්ගේ අවතාරය

බකිංහැම් මාළිගයේ සැරිසරන අනෙක් සුපතල අවතාරය මේජර් ජෝන් ග්වායන්ගේය. ස්වකීය නිල ඇඳුම ඇඳගෙන පාවහන් බිම ගැටෙන විට නැගෙන ඩොක් ඩොක් හඬ නගමින් මහ රෑ තරප්පු පෙළ නගින බසින මේ අවතාරය වැඩි පුරම ගැවසෙන්නේ මාළිගයේ පහත මාලයේය. හත් වැනි එඞ්වඞ් රජුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කළ ඔහු විවාහ වී සිටියේ රාජකීය පෙළපතකට සම්බන්ධකම් ඇති තරුණියක සමගය. එහෙත් විවාහ දිවියේ තිබූ යම් යම් ගැටලූ හේතුවෙන් ඔහු එක් කලෙක ඇගෙන් දික්කසාද වූයේය. එහි ප‍්‍රතිඵලය වූයේ ජෝන් ප‍්‍රභූ සමාජයෙන් සාමාන්‍ය පංතියට පහත හෙළීමයි.
මමත්වය හිසේ තබාගෙන උජාරුවට ජීවත් වූ ජෝන් එතැන් පටන් දිවි ගෙවූයේ කනස්සල්ලෙනි. එක් දිනෙක බකිංහැම් මාළිගයෙහි වූ සිය රාජකාරි කාමරය තුළදීම හිසට වෙඩි තබාගෙන මිය ගිය ජෝන් එදා පටන් තවමත් බකිංහැම් මැදුරේ සැරිසරන අවතාරයකි.

දෙවැනි එලිසබෙත් රාජිනියගේ විවේකස්ථාන වශයෙන් බකිංහැම් මාලිගය, වින්ඞ්සර් මාලිගය,  සැන්ඩි‍්‍රංහෑම් මාලිගය සහ ස්කොට්ලන්තයේ පිහිටි බැල් මොරල් මාලිගයත් පමණක් භාවිත කෙරේ. එහෙත් මේ එක් එක් මාලිගයකට ආවේනික හොල්මන් හා අවතාර ඇතතේ යැයි පැවසේ. ජෝන් බ‍්‍රවුන් නමින් හැඳින්වූ විශ්වසනීය රජවාසල නිලධාරියාගේ අවතාරය දෙවැනි එලිසැබෙත් රාජනීය විසින් බැල්මොරල් මාලිගයේදී දක්නා ලද බවට කතා පවතී.වික්ටෝරියා බිසව වැන්දඹු තත්ත්වයට පත්වීමෙන් පසුව ඉහත කී පුද්ගලයා රැජිනගේ පෙම්වතා වශයෙන් සිටියේ යැයි කියනුයේ හොල්මන් කතාවක් නොවේ. කට කතාවකි. දණහිස දක්වා දික්වූ සායක් වැනි ඇඳුමක් ඇඳගත් ජෝන් බ‍්‍රවුන් මාලිගයේ කොරිඩෝ ඔස්සේ ගමන් ගන්නා වූ විලාශය ඔහුගේ මරණින් පසුව බොහෝ දෙනකු විසින් දැක ඇතැයි කියනු ලැබේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Pages